ඊදුල් ෆිත්ර් රාමසාන් උත්සවය පිළිබඳව එක්සත් තව්හීද් ජමාතයේ (UTJ) මග පෙන්වීම

හිතාදර ඉස්ලාමීය සහෝදර සහෝදරියනි!

අස්සලාමු අලෛකුම් වරහ් මතුල්ලාහි වබරකාතුහු

COVID 19 CORONA වෛරස් වසංගතය හේතුවෙන් සමස්ත ලොවම තුෂ්නිම්භූතව බලා සිටින මොහොතක මෙම ව්‍යසනයෙන් අප රට මුදවා ගැනීම සඳහා අනන්ත අප්‍රමාණ ක්‍රියාන්විතයක රජය නියැලෙමින් සිටින බව ඔබ අප දනිමු.

ස්වයං නිරෝධායනයේ යෙදෙමින් නිවෙස් තුළට සීමාවී සිටි අප ශුද්ධවූ රාමසාන් මාසයට පා තබා උපවාසයේ යෙදමින් සිටින අතර සිකුරාදා ජුම්මා මෙහෙය වෙනුවට ලුහර් සලාතය ඉටුකරමින් දෛනිකව පස් වතාවන් ඇදහීම්, කියාමුල් ලයිල් සලාතය, ඇතුළු අනෙකුත් නෆිල් සලාතයන් ද නිවෙස් වල සිදුකරමින් සිටින්නෙමු.

මෙවන් පසුබිමක් තුළ ඉන්ෂා අල්ලාහ් එළඹෙන ඊදුල් ෆිත්ර් රාමසාන් උත්සවය අපි කෙසේ සමරමුද යන්නෙන් මගපෙන්වීම් කිහිපයක් පහත ඉදිරිපත් කර සිටින්නෙමු.

  • නගරවල වීදි ඔස්සේ පීරමින් කඩ සාප්පුවල තෙරපි තෙරපි මෙම වසරේ රෙදිපිළි මිලදී ගැනීම තාවකාලිකව අත්හරිමු. මේ හේතුවෙන් කොරෝනා වසංගතයෙන් අප ඇතුළු සමාජය හා සමස්ත රටම ආරක්ෂා කර ගනිමු.
  • අවම වශයෙන් ඉදිරි දෙසතියක් සඳහා වන දෛනික ආහාර ද්‍රව්‍ය ජංගම වෙළඳුන්ගෙන් මිලදී ගැනීමට වගබලා ගනිමු.
  • ඇති හැකි අය නැති බැරි අයට හැකි උපරිමයෙන් උදව් උපකාර කරමු.
  • දේවස්ථානවල කටයුතු පිළිබඳව ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ, හා මුස්ලිම් ආගමික සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ජම්ඉයතුල් උලමා සභාව, විසින් මේ වනවිටත් නිකුත් කර ඇති නීති-රීති, රෙගුලාසි, උපදෙස්, චක්‍රලේඛ, තවදුරටත් පිළිපැදීමට වගබලා ගනිමු.
  • නබි (සල්) තුමාණන් රාමසාන් උත්සවය හා හජ්ජි උත්සව සමය සඳහා දේවස්ථානය තුළ (පල්ලිය තුළ) යාඥා නොකර එළිමහන් පිට්ටනියකට ගොස් යාච්ඤා කිරීම අනුගමනය කළේය. කෙසේ නමුත් රටේ පවතින අයහපත් අවස්ථාව හේතුකොටගෙන (ඇඳිරි නීතිය ඉවත් කළත්) නිරෝධායන නීතිය පිළිපදිමින් සමාජ දුරස්ථභාවය රැකගත යුතුව ඇතිහෙයින් තම තමන්ගේ නිවෙස් වල රාමසාන් උත්සව යාඥාව පවත්වා ගනිමු.

ඉහත උපදෙස් පිළිපදිමින් වගකීම් ගරුක රට වැසියන් හැටියට මෙවර රාමසාන් අවුරුදු උත්සවය සමරමු.

තවද මෙම වසංගතයෙන් අප රට වැසියන් හා ලෝකවාසී ජනතාව ආරක්ෂාකර අල්- කුරානය සහ අස්- සුන්නාව අනුගමනය කර එක්සත්ව හා එක්සිත්ව ජීවත්වීමට වරම ලැබේවායි ප්‍රාර්ථනා කරන ලෙසට එක්සත් තව්හිද් ජමාතය ඉතා ඕනෑකමින් හා ආදරයෙන් ඉල්ලා සිටින වග දන්වා සිටිනු කැමැත්තෙමු.

ජසාකුමුල්ලාහු හෛරන්

ප්‍රධාන ලේකම්

2020_1012

Leave a Reply

Your email address will not be published. Required fields are marked *